සිරිලක සාමනේර සසුනට මරණීය හෙණයක් පාත්කල ඊනියා බොදු ගීතය – බෝ මළුවේ.
Posted මැයි 5, 2015
on:නිවනට විරුද්ධ නොවන සුන්දර බොදු ගීත රාශියක් මේ දහම් දිවයිනේ බිහිවූ බව අපි හොඳින් දනිමු. සමහරක් බොදු ගීත වෙළඳ වටිනාකම නිසාම මිසදිටු ආගමිකයෙක් අතින් ගැයුනද ඒවායේ පද රචනය කිසිසේත් බොදු විරෝධී නොවීය. අර්ථය ඉතා උසස් විය. පද රචනා බොහෝමයක් පූජණිය හිමිවරයෙක් අතින් සිදුවූ බැවින් අදටත් ඒවායේ අගය කියා නිමකල නොහැක. ඒවා නිසා අල්-හාජ් නම් සත්ව ඝාතක ඉස්ලාම් ගායකයාට අනවශ්‍ය වටිනාකම් නොලැබිය යුතු නමුත් ඔහු ගැයූ ගීත ප්‍රතික්ෂේප නොකල යුතු ඒවා බව රහසක් නොවේ.
අප මේ අර්ථය පිරික්සීමට, පෙන්වා දීමට යන්නේ එවන් ව්‍යාපාරික මිසදිටුවෙක් ගැයූ ගීතයක් නොවේ. බෞද්ධ ලෙස හඳුනාගත් අධම ගායකයෙක් හා පද රචකයෙක් එක්ව සිදුකල, ආනන්තරීය පාප කර්මයක් සේ බල සම්පන්න අන්ත නිවන් විරෝධී, සාසන විරෝධී ගීතයක එකවර නොපෙනෙන ඇතුලාන්තයයි.
එහි ප්‍රයෝගකාරී, නොමඟ යවන සුළු අර්ථය අද වනවිට අඩු වෙමින් යන භික්ෂු සාසනය ඒකාන්තයෙන්ම එක් හේතුවක් සපයන බව අපගේ තේරුම් ගැනීමයි. ඒ මන්ද යත් මේ ගීතයේ වැරදි සහගත අර්ථය නිසා මුළාවන කිසිම මවකට/පියෙකුට තම පුතනුවන් සසුනට පිදීමට සිත නොනැමෙන සේ එය නිර්මාණය වී හෝ කර හෝ ඇති බව අපට පෙනී යන නිසාය.
සතර කේන්දරය පාලු වීම, අනාගත ගිහි ජීවිතය අසාර්ථක වීමක් සේ දැක දරුවෙක් සසුනට ඇතුල් කලත්, වෙන මොනයම් හේතුවක් නිසා දරුවෙක් සසුන්ගත කලත් එය කිසිසේත් අහම්බයක් නොවන්නේය. ගිහි ජීවිතය නම් පව් සාගරයේ කිමිදෙමින් එය උසස් යැයි සිතා බහුතරය කෙසේ සිතුවත්, කුමන හේතුවකට හෝ සසුන්ගත වීම තරම් දුර්ලභ වාසනාවක් හිමි වන්නේ පෙරුම් පිරූ උතුමන්ට පමණි. පෙර භවයක් භවයක් පසා නිවැරදිව මහණ දම් පුරමින් එය සක්විති රජ සැපටත් වඩා උතුම් සේ අත්දැකීමෙන් දකින උතුමන් නිවන් දකින තෙක් මතු භවයේත් මහණ දම් පිරීමටම ප්‍රාර්ථනා කරති. මිනිස් ලොව ප්‍රතිසන්ධි ගන්නා එවන් පින් ඇති උතුමන්ට වයස්ගත කාලයේ නොව ඉතා කුඩා කාලයේම සසුන්ගත වීමට වටපිටාව ඉබේම සකස් වේ.
බුදු දහමේ සඳහන් ආකාරයට ධර්ම අවබෝධයට කුඩාම වයස සත් හැවිරිදි වයසය. බුදු හිමි වැඩසිටි කල, ධර්මාවබෝධයේ පරතෙරට පත් සත් හැවිරිදි රහතන් වහන්සේලා ඕනෑ තරම් වැඩ සිටි බව සඳහන් වේ. සසුන්ගත සාමණේර හිමියන් ප්‍රමාද විහරණයෙන් ක්‍රමාණුකූලව ඉවත් කිරීම ගුරු ස්වාමීන් වහන්සේලා අතින් සිදුවන පින්කමකි. ප්‍රමාද විහරණය යනු ගිහි අපි කවුරු කවුරුත් ගැලවීමක් නොමැති සේ ඇලී අති ජීවන රටාවයි.
සම්බුද්ධ දේශණය අනුව කොපමණකින් ප්‍රමාද විහරණය සිදු වේද යන්න ද අපි තේරුම් ගත යූතු වෙමූ. “මහණෙනි, චක්ෂූකද්‍රියයෙහි අසංවරව වෙසෙන්නහූගේ සිත චක්ෂූර්විඥෙය රූපයන්හි කෙලෙසූන්ගෙන් තෙත් කරනූ ලැබේ. කෙලෙසූන්ගෙන් තෙත් වූ සිත් ඇති ඔහූට ප්‍රමෝදය නොවේ. ප්‍රමෝදය නැති කල්හි පී්‍රතිය නොවේ. පී්‍රතිය නැති කල්හිි පස්සද්ධිය නොවේ. පස්සද්ධිය නැති කල්හි දුක සේ වෙසෙයි. දුක් ඇතියහූගේ සිත එකඟ නොවෙයි. එකඟ නොවූ සිතෙහි සමථ විදර්ශනා දහම් පහළ නොවීමෙන් ප්‍රමාදවිහාරී යන සංඛ්‍යාවට යෙයි” මේ අයූරින් ආයතන සයට ම අදාළව දත යූතුය.
බොදු ගීතයක් සාමනේර හිමි නමකගේ හෝ මානසිකත්වය නිරූපණය කරයි නම්, උන් වහන්සේලා ගිහි ජීවිතයට වඩා කෙතරම් වෙනස් දිවි පෙවෙතක් ඇති අය දැයි අඩු තරමින් හදාරා එය කල යුතුය. කිසිදු දහම් පදනමක් නැති ගිහියෙක්, දහමේ සඳහන් යෙදුමක් දෙකක් වැරදියට ගීතයකට ඇතුල් කර, සිතින් කසාවතක් දරා , හරි!… මට හිතෙන විධිය ස්වාමීන් වහන්සේට යොදා ගීතය ලියමි යැයි සිතා කරන ලද යුගයේ අති දැවැන්තම පාපකර්මයක් ගීත රචකයා විසින් කර ඇති බව පෙනේ. එය හරියැයි සිතා පූජණීය සසුන්ගත උතුමන් ගැන අවප්‍රමාණයෙන්, අනුකම්පාවෙන් සිතීමට ශ්‍රාවකයා පෙලඹවීමෙන්, ගීතය සමාජගත කල ගායකයාද සිය නිවන සදහටම වනසා ගත් බව කර්ම ඵල අදහන අපි විශ්වාස කරන්නෙමු.
එම ගීතයේ පද මේ ආකාරයෙන් ඇත, අපගේ පැහැදිළි කිරීම් පද පේළි යටින් යොදා ඇත
බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈදී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැලේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්…
පොඩි ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ සංකල්පනාවක් සේ අඟවා ගීතය ආරම්භ වන්නේ මල් සුවඳින් පිරි බෝමළුවේ වැඩසිටිමින් නිදැල්ලේ යන්නට ඉඩ සැලසූ සිතේ මනසට අරමුණු වන කිරි සුවඳ ,මනසට අරමුණු වන ස්පර්ශය හා අනෙක් අරමුණු සියල්ලට ලෝභ වන-එනම් ප්‍රමාද විහරණයෙන් යුතු, එක පේලියට නූපන් අකුසල් උපදවා ගන්නා – එනම් මිච්ඡා වායාම සහිත, පරම ශාන්ත නිවනට උපකාරී කමටහන් එකක්වත් අසා නැති හිමිනමක් ඇත්නම් ඒ තමා බව ලොවට කියා පෑමෙනි.
එතෙර කරන්නම් සතර වරිගයම
සංසාරේ යන මේ ගමනේ..
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහළුවන් හා සැනිනේ…
එහෙම ගියත් ඒ අය පොඩි සාධු
කියා කියන විට වැද වැටිලා..
කොහොම අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා…
පණ මෙන් ආදරය කරන තම දරුවෙක් සසුන්ගත කිරීමේ කුසලානිසංසය සතර වරිගයම නිවන් දැක්කවීමට දායක වන තරමේ මහේශාඛ්‍ය කුසළයක් බව දහමේ සඳහන් කියමන සාමණේර හිමිගේ අදහසක් ලෙස අනුකම්පාව උපදවාගැනීමට කල සමච්චලයක් සේ මේ පවිටු ගීතයට දෙවරක්ම ඇතුල් කර ඇත. ඉන්පසු අයාලේ යන සිත තව තවත් අයාලේ යවන්නේ සෙල්ලමටත්, පරණ යහළුවන්ටත් වැල නොකැඩී ලෝභ සිත් උපදවා ගන්නා පව පෙන්වමිනි.
මෙහිදී විමසා බැලීමට වටින කාරණය වන්නේ දකින විට වැඳ වැටීමෙන් ස්වාමීන් වහන්සේලා ට දිය යුතු ගෞරවය සමවයස් මිතුරන්ට තේරෙයි නම් තමා දරණ කසාවතේ ගෞරවය, උතුම් බව, වෙනස වටහා ගැනීමට මේ හිමිනම මෙතරම්ම අපොහොසත් විය හැකිද යන්නයි.
බෝ මළුවේ මල්….
භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ..
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ…
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුවඳේ එතිලා…
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත්… සසරින්… එතෙර වෙලා….
පොඩි හිමිනමගේ අවබෝධයේ පරස්පර තාවය මේ පද පේලි වලින් හෙළි නොවේද? බවයෙන් බවය බවුන් වඩන තෙක් නිවන් නොලැබෙන බව තේරුම් ගැනීමට තරම් මේ හිමි නම මුහුකුරා ඇති නම්, ගීතය පුරා තමා ලෝභ උපදවන චක්කු , ශ්‍රෝත, ඝ්‍රාණ, ජිව්හා, කාය , මන යන ආයතන හයට එන අරමුණු වල නිස්සාර බව තේරුම් ගැනීමට උන් වහන්සේ අපොහොසත් වන්නේ කෙසේද?
තවද අයෙක් මියගිය පමණින් සසරින් එතෙර වූවා යැයි කීම සහමුලින් වැරදි සහගතය. සතර මාර්ග ඵල අවබෝධය තුලින්ම පමණක් සසරින් එතෙර වීම සිදුවේ. අයෙක් ගේ මාර්ග ඵල ලාභී බව ප්‍රත්‍යක්ෂ ලෙස කිව හැක්කේ බුදු වරයෙක්ට පමණි. ප්‍රමාද විහරණයෙන් යුතුව බුදු උපදෙස් වලට පවා පිටුපාන මේ හිමිනම තම මව මාර්ගල ලාභීව මියගිය බව නොකියා කියන්නේ ඇය සසරින් එතෙර බව නොපැකිලව කීමෙනි. එය මොන තරම් දහම් විරෝධී මුසාවක්ද?
ගායනය : සනන් නන්දසිරි
පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
සංගීතය : සනත් නන්දසිරි
සසුනේ අවාසනාවකට අදටත් මේ ගීතය අනෙක් උතුම් බොදු ගීත සමඟ හරි හරියට වාදනය කරනු ඇසීමට තරම් අප දහමින් පිරිහී ඇත. වාදනය වන වාරයක් පාසා සාමණේර සසුනට මරු පහර දෙන මේ දුර්දාන්ත, පවිටු, අමන ගීතය සහමුලින් ප්‍රතික්ෂේප කිරීමට බොදුනුවන් සියල්ලට නුවන පහල වේවා!
ප්‍රතිචාරයක් ලබාදෙන්න