Archive for අගෝස්තු 2013
බුදුන් වැඩි රටට අමුතු අසපු කුමකට…
දිගාමඩුල්ල එක් කලෙක කසාවතින් බැබළුණේය. ඉතිහාසයේ එන ඒ සමෘද්ධිමත් අවධියේ දිගාමඩුල්ල එකම වන සෙනසුනක් වූයේය. ඒ පින්සාර අතීතයේ සජීවී සලකුණු තවමත් දිගාමඩුල්ලේ ශේෂ වී තිබේ. අතීත මහ රහතුන් වැඩවාසය කළ සෙනසුන් පිළිබඳ සලකුණු මේ බිමෙහි වූ සෑම වන අරණකම සැඟවී ඇත. මේ ඝෝර සමාජ වටපිටාවෙන් මිදී ජීවිතයේ සැබෑ අරුත් සොයන නික්‌ලේශී භික්‌ෂූහු තවමත් මේ වන අරණ අසපු කොටගෙන භාවනානුයෝගීව ජීවත් වෙති.
දිගාමඩුලු අභිමානයේ මිණි කැට බ`දූවූ ඉපැරණි රජගල තපෝවනය, බුද්ධංගල වන සෙනසුන, ක`දූ පියසින් වටවූ පියංගල වන අරණ සහ අදටද වග වලසුන්ගෙන් ගහන වන සතුනගේ නිජබිමක් ව පවතින කුඩුම්බිගල පුද බිම මේ සුශීල අතීතය පිළිබඳ අපට කතා කරයි. එවන් මනරම් පුදබිමෙන් හෙබි දිගාමඩුලු දනව්වේ අලුතින් අසපුවක් තනන්නට යැමෙන් දිගාමඩුලු ස`ගරුවන දැඩිසේ කැළඹී සිටිති. මේ දිග හැරෙන්නේ එම කතාවස්‌තුවය.
අම්පාර නගරය ආසන්නයේ පිහිටා ඇති සුන්දර අම්පාර වැව සමීපයේ කරංගාව ගම්මානයේ කරංගාව යාය නම් ස්‌ථානයේ වෙල් යායක් සහ ක්‍රීඩා පිටියක් ලෙස භාවිත කළ බිමක් වූයේය. එම ස්‌ථානයේ භාවනා අසපුවක් ඉදිකිරීමට යන බවට ආරංචි පැතිර ගියේය. මේ ගැන දැනගැනීමත් සමග දිගාමඩුල්ලේ මහ ස`ගරුවන දිගින් දිගටම මේ අතාර්කික ප්‍රවේශය ගැන සිය අප්‍රසාදය පළ කරන්නට වූහ. එම විරෝධය වඩාත්ම බලවත් වූයේ මෙම ස්‌ථානය මීට පෙර ක්‍රීඩා පිටියක් සහ දරු පවුල් කිහිපයක් ජීවත් වූ කෙත් යායක් වීම නිසාය. ඒ සමගම මේ නව සම්ප්‍රදායන් සමග වසර ගණනාවක් පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ ථෙරවාදී බුදු දහමට සිදු වෙතැයි පැවසෙන හානිය නිසාය.
ජනපතිතුමන් විසින් පසුගිය මස 20 වැනිදා රඹකැන්ඔය ජලාශය විවෘත කිරීමට පැමිණෙන දිනයේ කථානායක චමල් රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ස්‌ථානයේ අසපුවක් සඳහා මුල්ගල තබන බවට තොරතුරු පැතිර යන්නට විය. එම නිසා එම අවස්‌ථාවේ අසපුවකට කිසිසේත්ම නුසුදුසු ස්‌ථානයක මෙලස අසපුවක් සෑදීමට මුල්ගල තැබුවහොත් එයට විරෝධය පාන බව දිගාමඩුලු මහ ස`ගරුවන පවසන්නට වූහ. කෙසේ නමුත් මෙදින මෙම ස්‌ථානයට දැඩි ආරක්‌ෂක රැකවල් දමා තිබුණු අතර කථානායකවරයා එම ස්‌ථානයට නොපැමිණියේය. ඒ වෙනුවට ඔහුගේ පුතෙකු පැමිණ මුල් ගල තබන ලදි.
මේ ආකාරයෙන් යෝජිත අසපුවට එරෙහිව ඒ සඳහා මුල්ගල තැබූ දිනට පසු දින මෙම ස්‌ථානයට වැඩම කළ ප්‍රදේශයේ මහ ස`ගරුවන සාමකාමී විරෝධතාවක නියෑළෙන ලදි. “සම්බුදු දහම කෙළෙසනු එපා”, “අමුතු බණ අම්පාරට අවශ්‍ය නැහැ”, “වෛතුල්ලා දේශන අපට එපා” වැනි විවිධ විරෝධතා වැකි ලියූ පුවරු රැගෙන අම්පාරේ විහාරස්‌ථාන රැසක භික්‌ෂූහු මෙම ඉදිකිරීමට අපේක්‌ෂිත අසපුවට එරෙහිව විරෝධතාවයේ නියෑලුනහ.
මේ පිළිබඳව මුලින්ම අප සමඟ කතා කළේ අම්පාර ශාසනාරක්‌ෂක බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරී ගෞරව ශාස්‌ත්‍රවේදී දෙමටඇල්ලේ දයාසර හිමියෝය. උන්වහන්සේ මේ පසුබිම පිළිබඳව මෙසේ සිය අදහස් දැක්‌වූහ.
“අම්පාර නගරය අවට බෞද්ධ විහාරස්‌ථාන අටක් තියෙනවා. මෙම අසපුව සාදන උහන මාර්ගය ආසන්නයේ පමණක් බෞද්ධ මධ්‍යස්‌ථාන තුනක් තියෙනවා. එහෙම තියෙද්දී ගොවීන් කුඹුරු කළ ඉඩමක, කරංගාව ගම්මානයේ ජනතාව ක්‍ර්‍රSඩා පිටියක් ලෙස යොදාගත් ඉඩමක මේ ආකාරයෙන් අසපුවක් ගහන්නෙ ඇයි?. එහෙම අසපු ගහන්න අවශ්‍ය නම් කොච්චර තැන් තියෙනවාද අසුපු හදන්න. දිනෙන් දින විනාශ වන ඉපැරණි ස්‌ථාන කොපමණ නම් තිබෙනවාද? අසපු නිර්මාණය කරගන්න. වනගත පුදබිම් ගල් ලෙන් ඇතුළු අසපුවලට ඉතා යෝග්‍ය ස්‌ථාන මේ දිගාමඩුලු මිටියාවතේ ඕනෑ තරම් තියෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ මග පෙන්වීම යටතෙම එම ස්‌ථාන වැඩිදියුණු කරලා අසපුවක් හදාගන්න පුළුවන්. එහෙම තියෙද්දි මොන හේතුවකට මෙම නගරය අස්‌සේ මේ ආකාරයෙන් අසපු හදනවද කියලා මට නම් වැටහෙන්නෙ නෑ”
මෙම ස්‌ථානයේ සමරු ඵලකය ඉදිකර තිබෙන්නේ කථානායක චමල් රාජපක්‌ෂ මහතාගේ නමින්. එතුමාගේ පුතෙකු වන ශමින්ද රාජපක්‌ෂ තමයි, මෙතන මුල්ගල තිබ්බේ. එම මුල්ගල තියෙන අවස්‌ථාවේ අපි සාමකාමීව අදහස් දක්‌වන්න එම ස්‌ථානයට වැඩම කරද්දි එම පිරිස් ඔවුන් පැමිණි වාහනවල නැඟී පලාගියා. දැන් අසපුව හදන මෙම ස්‌ථානයට පැය 24 පුරාම පොලිස් ආරක්‌ෂාව දමලා තිබෙනවා.
ධර්මයට හානි කරමින් ඇතිවන මේ අසපු සංස්‌කෘතිය නිවැරදි සද්ධර්මය අනතුරේ හෙළනවා. ලංකාවේ අනෙක් ප්‍රදේශවලට සාපේක්‌ෂව අම්පාරෙ අපරාධ අඩුවෙන්න හේතුවක් තමයි, මෙම ප්‍රදේශයේ තිබෙන ආගමික ප්‍රබෝධය. අම්පාර ප්‍රදේශය වේගයෙන් සංවර්ධනය කළ යුතු කාලයක මොනවද මේ වෙන්නේ… අක්‍රමවත් දැයට කිරුළ වැඩසටහනින් පසු විවිධ මුහුණුවරින් අම්පාර නගරය ආසන්නයේ ඉඩම් අල්ලා ගැනීමේ කූට ව්‍යාපාරයක් පවතිනවා. ජනතාවගේ අවශ්‍යතාවන් අනුව ප්‍රයෝජනයට ගැනීමට තිබෙන ඉඩම්වල අසපු හදලා මේ ආකාරයෙන් ඒ අසපු හරහා සිදු වන ශාසන විරෝධී වැඩ සටහන් වලින් බුදු දහම රැක ගන්නා ලෙස අපි ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා”යි දෙමටඇල්ලේ දයාසර හිමියෝ පැවසූහ.
මේ ආකාරයෙන් මෙම ස්‌ථානයේ ඉදිවන්නට නියමිත අසපුවට එරෙහිව මේ වන විට ජනතාවගේ විරෝධතාවන්ද එල්ල වෙමින් පවතී. මේ කරංගාව පදිංචි ජී. ජයසිංහගේ අදහසය.
“1990 වසරේදී කල්මුණේ ප්‍රදේශයේදි කොටි කපලා මගේ අතක ඇ`ගිලි නැහැ. මට දරුවෝ 05 දෙනෙක් ඉන්නවා. මෙම ඉඩම්වල මගේ පියා තමයි, මුලින්ම වගා කළේ. පස්‌සේ මම 1973 ඉ`දන් මෙතන කුඹුරු වගා කළා. ගිය කන්නේ සී. ඕ. මහත්තයා ඇවිල්ලා වැට ගලවලා විසි කරලා වගා කරන්න එපා කීවා. මේ පාර මෙතන අසපු ගහන්න හදනවා. මෙතන කලින් කොටසක් වගා කරන්න එපා කියලා කීවා. ඊට පස්‌සේ මම එහාට වෙන්න මට පෙන්නපු කොටසේ වගා කළා. දැන් ඒකත් ආපහුq අසපු ගහන්න අල්ලාගෙන. අසපු ගහන්න වෙන ඉඩම් අම්පාරෙ නැද්ද?. අපේ කුඹුරු ඉඩම් අල්ලගෙන අපි අසරණ කරලා ගහන අසපුවේ තේරුම මොකක්‌ද?. එම නිසා අපේ ඉඩම්වල අපිට පෙර පරිදි වගා කරන්න ඉඩ දෙන්න කියලා අපි ඉතා ගෞරවයෙන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා” ජී. ජයසිංහ අදහස් දක්‌වමින් පවසා සිටියේය.
මේ ආකාරයෙන් නැඟෙන විරෝධයේ හඬ අවදි කළ අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති, උතුර නැගෙනහිර පිරිවෙන් අධ්‍යක්‌ෂ, විද්‍යානන්ද පිරිවෙනේ අධ්‍යක්‌ෂ කිරිඳිවැල සෝමරතන හිමියෝ අප සමග මෙසේ වදාළහ.
“දිගාමඩුල්ලේ භික්‌ෂුන් වහන්සේලා වසර 30 කට අධික කාලයක් පුරා පැවති කුරිරු යුද සමයේ ජීවිත පරිත්‍යාගයෙන් නොයෙකුත් ආකාරයේ තාඩන පිඩනයන්ට ලක්‌වෙමින් තමයි බුදු සසුන රැක ගනිමින් ජනතාවට සේවය කළේ. ඒ කාලෙ කවුරුවත් අසපු ගහන්න අම්පාරට ආවේ නැහැ. දැන් තමයි කාට කාටත් අසපු ගහන්න අම්පාර මතක් වෙලා තියෙන්නේ. මේ අය ධර්මය විනාශ කරමින්, ජනතාව මෝහනය කරමින්, මනස අවුල් කරමින් බෞද්ධ විරෝධී වැඩක් කරන්නේ. ඔය වගේ අසපු අම්පාරට අවශ්‍ය නැහැ. මේ තුළින සංඝ භේදයක් ඇතිවෙනවා. මේ අසපු වලින් ජනතාවට ඇතිවන සේවය මොකක්‌ද?. තරුණ ළමයි නොමඟ යවලා සුදු අන්දවලා, අධ්‍යාපන කටයුතු අවුල් කරලා, පිස්‌සෝ ටිකක් බවට පත් කරලා තියෙනවා. නගරෙ පාසල් 08 ක් තියෙනවා. නගරයට තවත් අසපු අවශ්‍ය නැහැ. නගරෙ පිට්‌ටනියක භාවනා අසපු ගහලා මේ අය කොහොමද භාවනා කරන්නේ.
“මේ අය අලුත් සංස්‌කෘතියක් ඇති කරන්න තමයි හදන්නේ.
ආගම් විරෝධී, ශාසන විරෝධී කල්ලි තමයි ඇති කරන්නේ. දහම් පාසල් නැති, බෝධි පූජා නැති, මළ ගෙවල් වලට යන්නේ නැති, ජනතාවගේ ආගමික අවශ්‍යතාවන් ඉටු කරන්නේ නැති ක්‍රමයක් ඇති කරන්නයි හදන්නේ. එදා සිට මේ දක්‌වා පාලියෙන් කීව පිරිත සිංදු කියනවා වාගේ සිංහලෙන් කියන, අමුතු විදිහට පන්සිල් දෙන, අමුතුම වැඩසටහනක් තමයි, මේ හරහා සිදුවන්නේ. අසපු ක්‍රමය හැදූ හිමියන්ගේa ශිෂ්‍ය හිමිවරුන් පවා ඉන් ඉවත්ව මේ වන විට අසපු හරහා සිදුවන හානිය ගැන පොත්පත් ලියා තිබෙනවා. එම නිසා මෙම අසපු ක්‍රමයට සහ අම්පාර නගරයේ අසපුවක් සාදනවාට අපි එකහෙළාම විරුද්ධතාව ප්‍රකාශ කරනවා” යෑයි පූජ්‍ය කිරිඳිවැල සෝමරතන හිමියෝ කීහ.
ජයනාත් විඡේවීර පදිංචි අම්පාරේ ගැමුණුපුරය. මේ අසපු සෑදීමට එරෙහිව ජයන්තටත් කියන්නට යමක් තිබේ. මේ ජයන්තගේ කතාවය.
“මම මෙම ඉඩමේ මීට වසර 30 කට අධික කාලයක් තිස්‌සේ කුඹුරු වැඩ කළා. වසර 12 කට පෙර මගේ දුවලා දෙන්නෙක් ගෙවල් හදලා මෙතන පදිංචි වෙලා හිටියා. රජයෙන් ඒ ගෙවල් කඩලා ඉවත් කළා. ඊට පස්‌සේ නැවතත් දුවලා දෙන්නා ගෙවල් දෙකක් හැදුවා. එකක් කැඩුවා. අනෙක් ගේ කවුරුහරි පිච්චුවා. මට අවුරුදු 10 ක සිට වගා කරන්න දුන්නේ නැහැ. ඊට පස්‌සේ ඔතන ළමයි සෙල්ලම් කරන්න ක්‍ර්‍රSඩා පිට්‌ටනියක් ලෙස අරගත්තා. ඔය අසපුව හදන ස්‌ථානයේ ඉඩමට මමත් තවත් හතර දෙනෙකුත් වගා කළ ඉඩම් අසුවෙලා තියෙනවා. මට වෙන කුඹුරු ඉඩම් නැහැ. නමුත් අපි වගා කරද්දි තමයි නිලධාරීන් ඇවිත් අපිට කරදර කරලා අයින් කරන්නේ. නමුත් අසපු ගහන්න ඉඩ දෙන්න පු`ඵවන්. අපිට වගා කරන්න දෙන්න බැහැ. එම නිසා අපි ඉල්ලා සිටින්නේ අසපු කැලේ කොහේ හරි ගහලා අපිට ජීවත් වෙන්න වගා කරන්න ඉඩම දෙන්න කියලයි”
අම්පාර ගල්මඩුව පුරාණ රජමහා විහරාධිපතීන් වහන්සේ ශාස්‌ත්‍රපති පූජ්‍ය හෑගොඩ විමලරතන හිමිපාණෝය. උන්වහන්සේ දමන සමථ මූල මණ්‌ඩලයේ සභාපති ධුරයද දරති. උන්වහන්සේ මේ අලුත්ම ආගමික ප්‍රවණතාව ගැන අපට මෙසේ පවසති.
මේ අසපු හදන්නෙ බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මයත් පිළි නොගන්න අය. මෙම අසපු ක්‍රමය නිසා ළමුන් නොමඟයනවා. නෝනාට තමන්ගෙ මහත්තයව පේන්න බැරි කායික සහ මානසික අසහන ක්‍රමයක් ඇති වෙනවා. ජපානය තායිලන්තය වැනි රටවල් දියුණුව තිබෙන්නේ බුදු දහමේ හරය අරගෙන. මෙම ස්‌ථානයේ අසපු ගහනවාට වඩා ගොවීන්ට වගා කරන්න දෙන්න බැරි ඇයි. මේ වන විටත් මෙම අසපු ක්‍රමයේ තිබෙන වැරදි දේ නිසා රට පුරා භික්‌ෂූන් වහන්සේලා ඇතු`ඵ ස`ගරුවනගේ විරෝධතාවන්ද ඇතිව තිබෙනවා. එහෙනම් ඇයි මේවට අප අනුබල දිය යුත්තෙ?.”
මේ අපට ඇහෙන කතාවය. රාජ්‍ය බලය සහිතව එන ආගමික ප්‍රවණතා අවසානයේ දී මහා ව්‍යසන නිර්මාණය කළේය. අපේ ඉතිහාසය පිරී ඇත්තේ එවැනි කතා වලිනි. අපට තියෙන යුද්ධ හොඳටම ප්‍රමාණවත්ය. තවත් ගැටුම් ඕනෑ නැත. එවැනි ගැටුමක් රට කරවන මහත්වරුන්ට අවශ්‍ය බව අපට හිතෙන්නේත් නැත. සිහි බුද්ධියෙන් කටයුතු කළයුතු තවත් මොහොතක් එළඹ ඇති බව පමණක් අපට හැඟෙන්නේය.
සුසන්ත අමරබන්දු
නවතම ප්‍රතිචාර