4 පියවර – බෞද්ධයෙක් දවස පටන් ගත යුත්තේ කෙසේද?
Posted පෙබරවාරි 2, 2011
on:- In: තිසරණය | පින්කම්
- 10 Comments
Click here to Read Full screen or Download this Sinhala article in PDF format
කලින් ලිපියේදී ලොව්තුරා බුදු පියාණන් වහන්සේ කෙරේ ඔබගේ ශ්‍රද්ධාව දියුණු කර ගැනීම පිණිස නමස්කාරය ඉදිරිපත් කලෙමු. අන්‍යාගම් හා බුද්ධාගම අතර ඇති අහසට පොළොව මෙන් වෙනස් කම් වලින් ප්‍රධානම වෙනස් කමක් නම් යමෙක් හුදෙක් බෞද්ධ දෙමව්පියන්ට දාව උපන් පමණින්ම බෞද්ධයෙක් නොවීමයි. එබැවින් මෙම පියවර අතිශයින්ම වැදගත් පියවරක් ලෙස පිළිගත යුතුය. සෑම දිනයකම ආරම්භයේදී යමෙක්ට තමා බෞද්ධයෙක්ද නැතිද යන බව සහතික විය හැක්කේ මෙම පියවර අනුගමනය කරනවාද නැද්ද යන්න මතයි.
අසම සම බලයෙන් යුතු රත්නත්‍රය සත්වයන්ට මහත් පිහිටක් වතුදු, සියල්ලෝ ම රත්නත්‍රය උතුම් පිහිටක් යැයි පිළි නොගනිති, රත්නත්‍රය සරණ නොයති, බුද්ධ රත්නයේ ශ්‍රාවකයෝ නොවෙති, ධර්මයට අනුව නොපිළිපදිති, සංඝ රත්නයේ ශ්‍රාවකයෝ නොවෙති. මෙසේ වීමට හේතු වන්නේ ඔවුන්ගේ සිත් මිථ්‍යාදෘෂ්ටි පටලයෙන් වැසී යාම නිසයි. එවිට ඔවුන්ගේ අවාසනාව ඉස්මතු වේ, රත්නත්‍රය සුළු කොට තකයි. නා නා ප්‍රකාර මිථ්‍යාදෘෂ්ටීන් හිස් මුදුනින් පිළිගනී. සත්‍ය ලෙස කිසිම උපකාරයක් ප්‍රධානය කිරීමට නොහැකි මනකල්පිත (එනම් සර්ව බලධාරී ඕනෑම දෙවියෙක්) හෝ විසිය හැකි දෙවි වරුන් (ශක්‍ර දෙවි, මහා බ්‍රහ්ම ආදී සුගති ලෝක වාසීන්) ගේ පිහිට සොයයි. දෝරේ ගලන තණ්හාවෙන් අන්ධ වී සරුව පිත්තල ප්ලස්ටික් කැබලි, සත්ව, වාමන රූප, (Feng Shui) හා ඒවා විකුණන වංචනිකයන්ගේ ගොදුරු බවට පත්වේ. නා නා ප්‍රකාර විෂ්ව ශක්ති දේවාල, වංචනිකයන්, කාමුකයන්, සාස්තර, ගුරුකම්, මලයාලි ගුරුකම්, බලි තොවිල්, යාග හෝම, වශී, විශ්වාස කරයි. කිසිම තේරුමක් නැති සායි බාබා වැන්නවුන් අදහයි. මෙකල තමා බුදු වූවේ යැයි කියන කෝළම් කාරයන් පිළිගන්නා තත්වයට වැටේ.
සමාජය වේගයෙන් පරිහානියට යාමේ හේතුවෙන්, භික්ෂු සමාජය තුලද පූජාවන්ට ගෞරවයන්ට නුසුදුසු භික්ෂූන් වහන්සේලා බිහිවෙමින් පවතී. මේ යටතේ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු (අප්‍රසාදය දැක්විය යුතු ) යැයි බුදුන් වහන්සේ විසින්ම අනුදැන වදාල භික්ෂූන් වහන්සේලා විශේෂයක්ද සිටී එම භික්ෂූන් වහන්සේලා පහත පරිදි හඳුනා ගත හැක.
එම භික්ෂූන් වහන්සේලා ගිහියන්ට අලාභ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට අනර්ථ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට ආක්‍රෝශ පරිභව කරන්නා වූද, ගිහියන් ගිහියන් හා බිඳවන්නාවූද, බුදුන්ගේ අගුණ කියන්නා වූද, ධර්මයේ අගුණ කියන්නා වූද, සංඝයාගේ අගුණ කියන්නාවූද, හැසිරීමට නුසුදුසු තැන්වල දක්නා ලැබෙන්නා වූද අය වශයෙන් දක්වා ඇත.(බලන්න, පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහ නාහිමි සම්පාදිත “බෞද්ධයාගේ අත්පොත, 39 පිටුව ). මෙහිදී අප්‍රසාදය දැක්වීම යනු ඒ භිෂූන්ට ගර්හා කිරීම නොව, දුටු කල හුනස්නෙන් නොනැගී සිටීම, පෙර ගමන් නොකිරීම, නොවැඳීම, දන් නොදීම යන මේවායින් තමාගේ නොසතුට දක්වීමයි.
ඒ අනුව සර්වාගම් වංචාවෙන් ධර්මය, සම්බුද්ධ සාශනය නැසීමට උත්සාහ කරන, එතුලින් ගිහියන්ට මුළු සසර පුරාම අලාභ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට මුළු සසර පුරාම අනර්ථ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන් ගිහියන් හා බිඳවන්නාවූද, බුදුන්ගේ උත්තරීතර ස්ථානය ලාබ ප්‍රයෝජන තකා මිසදිටුවන්ට විකුණා දමන යම් භික්ෂුවක් හෝ භික්ෂු සමූහයක් සිටීද ඔවුන්වද ඉහත ආකාරයෙන් වර්ජනය කළ යුතු (අප්‍රසාදය දැක්විය යුතු ) වන්නේය.
අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ ඝාම්භීර වූද, රසවත් වූද සපයා ඇති ධර්ම දේශනාව හි අඩංගු කරුණු කීපයක් පහත දැක්වේ
අංගුත්තර නිකායේ, චතුස්ස නිපාතයේ යමෙක් චිත්ත ප්‍රසාදය ඇති කරගත යුතු අග්‍ර වස්තු හතරක් බුදු පියාණන් විසින් දේශනා කොට වදාලා.
1. ලොව වසන තාක් සියලු සත්ව ප්‍රජාවගෙන් සම්මා සම්බුදුන් වහන්සේ අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි උත්තමයි.
2. ලොව යම්තාක් ධර්ම ඇතොත් ඉන් විරාග නිරෝධ සංඛ්‍යාත නිර්වානයම අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි උත්තමයි.
3. ලොව යම්තාක් සමූහ සංඝ ඇතොත්, ඉන් තථාගත ශ්‍රාවක ආර්ය සංඝයාම අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි උත්තමයි.
4. ලොව යම්තාක් ප්‍රතිපදා ඇතොත් ඉන් තථාගතයන් වහන්සේ දේශනා කල ආර්ය අෂ්ටාංගික මාර්ගයම අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි උත්තමයි.
සම්පූර්ණ ධර්ම දේශනය බාගත කර සවන් දෙන්න..
ඉහත සඳන් වූ ලෙස යමෙක් රත්නත්‍රය උතුම් පිහිටක් යැයි පිළි ගනියි ද, රත්නත්‍රය සරණ යයි ද, බුද්ධ රත්නයේ ශ්‍රාවක වෙයි ද, ධර්මයට අනුව පිළි පදියි ද, සංඝ රත්නයේ ශ්‍රාවක වෙයි ද ඒ තැනැත්තාට පමණක් උපාසක යන නම යෙදේ. බෞද්ධයා යනුද ඔහුට නමකි. මේ අනුව අද දින වෙසෙන අපි බහුතරයක් බෞද්ධයන් දැයි අපි අපිම විමසා බැලිය යුත්තක් නොවේද?
සරණ ගමනයේ විවිධ ප්‍රභේද ගණනාවක් ඉහත පොතේම පිටු අංක 28 සිට 30 දක්වා ඉතා සරලව විස්තර කර ඇත. උනන්දු වන්නෝ කියවා බලත්වා!
දැන් අපි නිවැරදිව, ඉහත කාරණා සියල්ල සම්පූර්ණ වන සේ තිසරණය යා හැකි ක්‍රමයක් ඇත්දැයි බලමු. අපි දකින ආකාරයට නම්, මුලින් සිංහල තේරුම එක් එක් සරණ ගමනය වෙනුවෙන් කියා ඉහත වැදගත් කරුණු සියල්ල තමාට මව් බසින් සපථ කර ගත යුතුයි. ඉන් පසු සුපුරුදු පාලි වාක්‍ය කියා සම්පූර්ණ කිරීම කල හැක. පහත සිංහල තේරුම් හොඳින් මතකයට ගන්න. බලාගෙන කියා හෝ මතක සිටින තෙක් පුරුදු වීමෙන් ඉතා උසස් ශ්‍රද්ධාවක් ගොඩ නැගේ.
1. බුදුන් සරණ යෑම ( සිංහල )
දත යුතු සියළු ධර්මයන් අවබෝධ කලාවූද, අනුනටද එය අවබෝධ කරවන්නා වූද, ලොව්තුරා බුදු පියාණන් වහන්සේ,
* මා හට නිවන් අවබෝධය පිණිස ද,
* අනන්ත අනාගත සසර දුකින් මිදීම පිණිසද,
උතුම් පිහිටක් කොට සරණ යමි!,
උතුම් පිහිටකැයි පිළිගනිමි !
මම ඒ ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි!
ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ඒ බැව් පිළිගන්නා සේක්වා!
දෙවනුවද තුන්වනුවද, උතුම් පිහිටක් කොට සරණ යමි!, උතුම් පිහිටකැයි පිළිගනිමි ! ශ්‍රාවකයෙක් වෙමි!, ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ඒ බැව් පිළිගන්නා සේක්වා!
2. දහම් සරණ යෑම ( සිංහල )
ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින්, අවබෝධ කොට වදාලා වූද, සපරියාප්තික (පිළිපැදිය යුතු ) වූද, නවලෝකෝත්තර ( නව ආකාරයකින් නිවන් සළසා දෙන්නා ) වූද, ශ්‍රී සද්ධර්ම රත්නය,
* මා හට නිවන් අවබෝධය පිණිස ද,
* අනන්ත අනාගත සසර දුකින් මිදීම පිණිසද,
උතුම් පිහිටක් කොට සරණ යමි!,
උතුම් පිහිටකැයි පිළිගනිමි !
මම ඒ ශ්‍රී සද්ධර්ම රත්නය ට අනුව හැසිරෙන්නෙක් වෙමි!
දෙවනුවද තුන්වනුවද, උතුම් පිහිටක් කොට සරණ යමි!, උතුම් පිහිටකැයි පිළිගනිමි ! ශ්‍රී සද්ධර්ම රත්නය ට අනුව හැසිරෙන්නෙක් වෙමි!
2. සඟුන් සරණ යෑම ( සිංහල )
ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ පුත්‍ර භාවයට පැමිණියා වූද, අෂ්ටාර්ය පුද්ගල වූද, මහා සංඝ රත්නය
* මා හට නිවන් අවබෝධය පිණිස ද,
* අනන්ත අනාගත සසර දුකින් මිදීම පිණිසද,
උතුම් පිහිටක් කොට සරණ යමි!,
උතුම් පිහිටකැයි පිළිගනිමි !
මම ඒ මහා සංඝ රත්නයේ, ශ්‍රාවකයෙක් වෙමි!
මහා සංඝ රත්නය ඒ බැව් පිළිගන්නා සේක්වා!
දෙවනුවද තුන්වනුවද, උතුම් පිහිටක් කොට සරණ යමි!, උතුම් පිහිටකැයි පිළිගනිමි ! ශ්‍රාවකයෙක් වෙමි!, මහා සංඝ රත්නය ඒ බැව් පිළිගන්නා සේක්වා!
පහත පරිදි ඔබට සුපුරුදු පාලි වාක්‍ය කියා තිසරණය සම්පූර්ණ කරන්න
බුද්ධං සරණං ගච්ඡාමී
ධම්මං සරණං ගච්ඡාමී
සංඝං සරණං ගච්ඡාමී
දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමී
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමී
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමී
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමී
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමී
තතියම්පි සංඝං සරණං ගච්ඡාමී
<< 3 පියවර
5 පියවර>>
10 Responses to "4 පියවර – බෞද්ධයෙක් දවස පටන් ගත යුත්තේ කෙසේද?"
[…] << 4 පියවර […]
[…] දහමට එරෙහි හිමිවරුන් සහමුලින් ප්‍රතික්ෂේප කිරීම බුදුන් දෙසූ බණයි. එය කිරීමට බෞද්ධයා පැකිලේ නම් අනාගතයට […]
[…] පවා සැදැහැවත් ශ්‍රාවකයන් විසින් පරිභව නොකල යුතු බව දේශනා කොට තිබේ. මේ බුද්ධ වචනය අපි ගරු […]
[…] බුදු වදනට අනුව, යහපත් චේතනාවෙන් ධර්මසංවේගයෙන් […]
[…] 4 පියවර – තිසරණය යාම […]
[…] 4 පියවර – තිසරණය යාම […]
[…] ලිපි මාලාවේ නමස්කාරයෙන් පටන්ගෙන තිසරණය ගොස් ඉන්පසු ශීල සමාදානය දක්වා පියවර […]
oba wahansela me karana punya katayuktha nisa ‘ mama dawasin dawasa bahusrutha wenawa.oba wahansela mage kalyana mithrayo wethi.
[…] ඔවුන්ට පරිභව කිරීමෙන් පමණක් වැළකී සපුරා පිටු දැකිය යුතු බවත් දහම තුලම පැ…. මදක් සිතා බලන්න කසාකණ්ඨක භික්ෂූන් හා […]
1 | ra.kusum chandani
අප්‍රේල් 1, 2011 at 10:29 පෙ.ව.
වර්ථමාන සමාඡයේ , මනුෂ්‍යන් තුළ තිබිය යුතු ගති ලක්ෂණ පිරිහෙමින් ,
යන්ත්‍ර සූත්‍රමෙන් තම ලෞකික අරමුණු ඉටුකරගැනිම සදහා පමණක් සිත යොමු කරන බහුතරයක් සිටින මෙවන් කාල වකවානුවක මෙවැනි ලිපි පරිශීලනය කිරිමෙන් ඉතිරිවි ඇති සත්පුරුෂයන් ටික දෙනාවත් තවතවත් යහමගට යොමු විමට මෙවැනි ලිපි බොහෝසෙයින් වැදගත්වේ. මම හොදින්ම දන්න පවුල් දෙකක් සිටිනව ඒ අම්මල පුතාගෙ ගෙදරින් කැම කන්නෙ මාස්පතා කැම වියදම් දිල .ඒ කන්න දෙන්නෙත් දෙවේලයි. මේ අම්මල දෙන්නම දරුවන්ට හොදින් යුතුකම් ඉෂ්ඨකල අම්මල දෙන්නෙක් . මට හිතාගන්න බැහැ මේ දරුවන්ට අවසානයේ මොකක් වෙයිද මරනෙන් පස්සෙ කොහාට යයිද කියද , මිට වසර 10 කට පෙර සිට මම පංසිල් පද 5 ම ආරක්ෂා කරනව සත්ත්තු මරන්නෙත් නැහැ ,සත්ත්තුන්ගෙ මස් කන්නෙත් නැහැ. මට කරදරයක් පැමිණිවිට මේ දේවල් සිහි කිරීමෙන් යම් සහනයක් ලැබෙනව. මෙවැනි ලිපියක් මගේ විද්්‍යුත් තැපෑලට දැමිම ගැන අනේක වාරයක් ස්තුතියි