Archive for the ‘2. කාමාවචර ප්රතිසන්ධි තල 11’ Category
ඔබත් හය – හතර දන්නා බෞද්ධයෙක්ද?
Posted අප්‍රේල් 25, 2012
on:Click here to Read Full screen or Download this Sinhala article in PDF format
අපි මේ අඩවිය හරහා බොහෝ ධර්ම කාරණා බෙදා හරින්නෙමු. ඒවා සියල්ල කිරීමට පෙර මුලින්ම ඇසිය යුතුව තිබූ පැණයක් තිබුණි. කෙසේ හෝ එය අපට අතපසු විය. දැන් අපි එම අවස්ථාව ලබා ගන්නෙමු.
ඉහත පැණය කොතරම් අප භාවිතයට හුරු වී ඇති දැයි අපි තේරුමක් පවා නොදැන එය භාවිතා කරන ප්‍රමාණයෙන්ම සිතා ගත හැක. මෙම යෙදුම හෙළයෝ භාවිතා කරන්නේ දළ වශයෙන් පින්-පව් නොදන්නා කුඩා දරුවන් වෙනුවෙන් බව අපට අමුතුවෙන් පැහැදිළි කල යුතු නොවේ. එසේ නම් පින්-පව් හා මේ ඉලක්කම් දෙක අතර සම්බන්ධය ඔබ මොහොතකට හෝ සිතා බැලුවාද?
වයස 7ට අඩු ඕනෑම දරුවෙක් වෙනුවෙන් මෙය භාවිත කිරීම 100% නිවැරදි වේ. ධර්මාවබෝධයේ ආරම්භක කඩ ඉම සත් හැවිරිදි විය වන බැවිනි. අප ශ්‍රේෂ්ඨ සාසනයේ සත් හැවිරිදි රහතන් වහන්සේලා වැඩ සිටියේ ඒ නිසාවෙනි. එසේ නමුත් අද දවසේ මේ මූලික දැනුම හෝ නොගෙන නියම මිසදිටුවන් සේ වයසට ගොස් මියයන බෞද්ධයන් ගණන නිමක් නැති බව අපි පිළිගත යුතුය.
මිය යන ඕනෑම පුද්ගලයෙක් මේ භවයෙන් චුත වීමේ චුති සිත පහල වීමත් සමඟ, ඊලඟ චිත්තක්ෂණයේදී පහල වන්නේ ප්රතිසන්ධි සිතයි. මේවා අතර කිසිදු අවකාශයක් නැති අතර අන්තරාභවය, මනෝකාය ආදිය මිසදිටු මනස්ගාත බව අපි කලින් ලිපි ඔස්සේ පැහැදිළි කර ඇත්තෙමු. 31 ප්රතිසන්ධි තල වලින් එකක කර්මානුරූපව පහල වීම ප්රතිසන්ධි සිතෙන් ඉටු කරන ක්‍රියාවයි.
31 භූමිතලය යැයි අපි සවිස්තරව හඳුන්වන්නේ කෙටියෙන් තුන්ලොව, ත්රයිලෝකධාතුව යැයි හඳුන්වන එක සක්වලකි. එයට තුන්ලොව යැයි කියන්නේ එහි ආකාර තුනක ලෝක පැතිරී ඇති නිසාය
- කාමාවචර භූමිය (සිත කය දෙකම ඇති දුගති සුගති ප්රතිසන්ධි තල – සියල්ල 11 කි)
- රූපාවචර භූමිය (කයක් ඒකාන්තයෙන් ඇති (රූප ) බඹලොව – සියල්ල 16 කි)
- අරූපාවචර භූමිය (සිත මිස කය නැති (අරූප) බඹලොව – සියල්ල 4 කි)
ලොව පහල වන ඕනෑම බුදුන්වහන්සේ කෙනෙක් නායක වන්නේ එකකට නොව මේ තුනටමය. උන්වහන්සේට තිලෝගුරු යැයි අපි ගෞරවයෙන් අමතන්නේ මේ නිසායි.
දැන් අපගේ පැහැදිළි කිරීමට එමු. “හය – හතර නොතේරෙනවා” යන යෙදුමේ ඉහත තුන් ලෝකයෙන් පළමු වර්ගය වන මුළු කාමාවචර ප්රතිසන්ධි තල 11ම ආවරණය වන තේරුමක් ඇති බව ඔබ දැන සිටියාද? විශේෂ ධර්මානුධර්ම ප්‍රතිපදාවක් නැතිව, එදිනෙදා කුසල් අකුසල් කරන සත්වයෝ අති බහුතරයක් සසර සැරිසරන්නේ මේ කාමාවචර ප්රතිසන්ධි තල 11 තුලයි. එක ජීවිතයක් නොව භවයෙන් භවය භාවනා කිරීමෙන් පවා බ්‍රහ්ම තල වල ප්රතිසන්ධි ගන්නෝ ඉතා විරල වීම ප්‍රායෝගික යථාර්තයයි. එය එතරම් අපහසු මනස සියුම් කිරීමක ප්‍රතිඵලයක් බැවිනි.
31 භූමි තලයේ කාමාවචර භූමි නිරූපණය දෙස පමණක් නැවත බලමු.
මෙයින් පළමු ප්රතිසන්ධි තල 4 එනම් දුගති 4 හෙවත් සතර අපා ඉහත ජන වහරේ එන හතර යන්නේ තේරුමයි. ඉන්පසු 5 වෙනුව ඇත්තේ පහළින්ම පිහිටි සුගතිය හෙවත් අපි මේ ප්රතිසන්ධි ගෙන සිටින මිනිස් ලොවයි. අපි මේ ලොවේ සිට භාවිතා කරන යෙදුමක් හෙයින් අපගේ ලොව එහි සඳහන් කල යුතු නොවේ. මිනිස්ලොවින් උඩට යොදුන් 42000 බැගින් ඉහලින් ඉහලට පිහිටා ඇත්තේ දෙව්ලොව 6 යි. ඉහත ජන වහරේ එන එන හය යන්නේ තේරුම මෙයයි. එවිට “හය – හතර නොතේරෙනවා” යන්නෙහි සරල තේරුම පැහැදිළි වෙනවා නේද? ” සුගතිගාමී කුසල් මොනවාද හා අපාගාමී අකුසල් මොනවාද නොදන්නාකම” යන්න අති සරල ලෙස හෙළ ගැමි වහරට එකතුවී ඇති අපූරුව බලන්න. අපගේ හෙළ ගැමි ප්‍රඥාවට අපි මෙතෙක් නිසි ගෞරවය දී ඇතිදැයි බලන්න.
පෙර කල හෙළ ජන විඥානයේ, අති ගැඹුරු අභිධර්ම අවබෝධයක් තිබූ බවට මීටත් වඩා සාක්ෂි අවැසිදැයි අපිම විමසා බැලිය යුතුය. මේ දහම් දිවයිනේ අද දින බෞද්ධ බහුතරයගේ හය හතර නොදන්නා කම ගැන අපි ඉතාම සංවේගයට පත්වන්නෙමු.
අධ්‍යාපන අමාත්‍යංශයේ බෞද්ධ පාසැල් විෂය නිර්දේශයෙන් අති උතුම් අභිධර්මය සහමුලින් කපා ඉවත්කර ඇත. එබැවින් මේ ලිපිය ලියන අපි පවා පාසැල් සමය තුල දුටු බුදු දහමේ විචිත්‍රත්වයක් නැත. හෙළ ජාතික විරුවන් ලෙස වහාම නම්කල යුතු සංඝ පීතෲන් වහන්සේලාගේ කරුණානුභාවයෙන් පමණක් අපටද ඒ දහම් රසය විඳ ගැනීමට අවකාශ ලැබුණි. උසස්පෙළ කලා අංශයෙන් සිංහල විෂය හදාරන්නාට, බුද්ධ දේශිත 550 ජාතක කථා සියල්ල හුදෙක් ජාතකකථා කරුවෙක් විසින් කල ප්‍රබන්ධ වේ. මෙය බුදු සමයට හා බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශණයට දුන් අති දරුණු පහරකි. 550 ජාතකකථාවේ අභිධර්මයට පටහැනි කිසිම දෙයක් නැත. සතුන් මිනිස් බසින් කථා කිරීමට ඇති එකම බාධාව ප්‍රඥාව පමණි. ස්වරාලය, දිව, තල්ල, ස්වරතන්තු යන මේවා සියල්ල අඩු නැතිව එම සතුනට තිබේ. ගිරවුන් කථා කරන්නේ මේවා භාවිත කර නොවේද? පෙරුම් පුරන බෝධි සත්වයන් තිරිසන් භවයේ ප්රතිසන්ධි ගත්තද ප්‍රඥාවේ කිසිදු අඩුවක් නැත. එබැවින් සතුන් මිනිස් බසින් කථා කිරීමේ කිසිදු අරුමයක් නැත. ජාතක කථා වල ඇති පෙළහර සියල්ල මෙවන් ඒවායි. ඊට අමතරව අති දුර්වල පදනමක පිහිටන නවීන විද්‍යා ඇසින් බුදු දහම දෙස බලා එය විද්‍යාවට අනුගත කිරීමට බුදුදහමේ නොයෙක් කොටස් තමාට රිසි රිසි අර්ථකථන දීමටද ඇතමුන් පෙළඹී දහම විනාශ කරයි.
මෙසේ එම අවාසනාවන්ත තත්වයට වගකිව යුත්තන් මෙතෙකැයි කීමට නොහැකි තරම් සිටියද, අපි ඔවුනට ද්වේෂ කරමින් සිට ඵලක් නොවේ. වහාම හැකි පමණින් අපි වරද නිවරද කර ගත යුතුය. පාසැලෙන් විචිත්‍ර බුදු දහම අපට නොදේ නම් එය අපි සොය සොයා ගොස් උගෙන සියල්ල දැනුවත් කල යුතුයි. මේ ලිපිය කියවීමෙන් ඔබත් හය – හතර තේරෙන බෞද්ධයෙක් වූයේ නම් එය අපිට සැනසීමකි. හැකි සියල්ල දැනුවත් කර නිවන් පතා කුසල් රැස් කිරීම ඔබගේ යුතුකමකි.
නවතම ප්‍රතිචාර